මුගලන් මහරහතන් වහන්සේව පිරිණිවනට පත් කලේ කවුද?

මුගලන් මහරහතන් වහන්සේ ගැන ඕනෑම බෞද්ධයෙක් දන්නා කරුණක්.උන්වහන්සේ පිරිනිවණට පත්වූ අයුරු පවා අප සැම හොදින් දනිමු.ඒ කුමන ආකාරයක අකුසල කර්මයක් නිසාද යන්න වගත් ඔබ හොදින් දන්නා කාරණයකි.මම මේ කතාවේම වැඩිපුර ප්‍රසිද්ධ නොවූ පැතිකඩක් වෙත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

පලමුව මම මේ ලිපියෙහි මූල බීජය පිලිබදව ගෙනහැරදක්වමි. තම දෙමව්පියන් කලින් ආත්මභාවයකදී හිසට පොල්ලෙන් ගසා මරා දමා සිදුකරගත් ආනන්තර්‍යය පාප කර්මය හේතු කොටගෙන මුගලන් මහ තෙරුන් වහන්සේ කලින් ආත්මභාවයන්හි අපායෙහි දුක් විද අනිකුත් ආත්මභාවයන්හි ද පහර කෑමෙන්ද නොයෙකුත් පීඩා මගින්ද දුක් විද මරණයට පත්ව ඇත.මුගලන් මහරහතන් වහන්සේ අප මහා සම්බුදුරජානන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් නමක් වශයෙන්ද ඍධිමත් භික්ෂූන් අතර අග තැනද ලබා ගත් මහා පුණ්‍ය සම්භාරයකින් යුතු රහතන් වහන්සේ නමකි.තවද උන්වහන්සේගේ ගුණ බොහෝමය. මෙතෙකැයි කිව නොහැක.මෙතරම් පුණ්‍ය සම්භාරයකින් යුතුවූ මුගලන් මහරහතන් වහන්සේ කල්ප ගණනක් නිරයේ දුක්විද අනිකුත් භාවයන්හිද දුක් විද උතුම් අරහත් බව ලැබීමෙන් පසුවද ඒ ආකාරයට පහර කෑමෙන් පිරිණිවනට යෑමට තරම් ඒ පාපකර්මය කෙතරම් ප්‍රබලද යන්න ඔබට තේරුම් ගත හැකිය.

දැන් අප එහි තවත් පැතිකඩක් සලකා බලමු.මුගලන් මහරහතන් වහන්සේ වැනි උතුම් රහතන් වහන්සේ නමක් අපවත් කිරීමට නම් ඒ සම්බන්ද වූ පුද්ගලයන් නිශ්චිතවම කවුද යන්නයි.ඒ තරම් මහා අකුසල කර්මයකට සම්බන්ධ වීමට හේතුවයි.එය මුගලන් මහරහතන් වහන්සේ කලින් ආත්මයක දෙමව්පියන් මැරීමේ ආනන්තර්‍යය පාපකර්මය සිදු කල ආත්මභාවය කරා දිව යයි.එලෙස දෙමාපියන්හට පහරදී මරාදැමීමෙන් පසුව ඒ තරුණයා එතනින් ඉවත්ව යයි. පසුව ගම්වැසියන් පිරිසකට මෙසේ මරා දමා තිබෙන මහලු දෙමව්පියන් ගේ මලසිරුරු දක්නට ලැබේ. එය දුටු විගස ඔවුන් තුල මහා දුකක් හා තරහවක් හට ගැනුනි. ඒ හටගත් තරහව කරණකොට ගෙන ඔවුන්ගේ සිතින් සහ මුවින් දෙකෙන්ම පිටවූයේ මහා සාප වදන් වැලකි

"මොකාද මේ මහා අපරාධය කලේ? මූට නම් හොදක් වෙන්න එපා.ඕකව මට අහුවුණොත් ගහලම මරල දානව".... මේ ආකාරයේ වදන් පෙලකි.

මෙය සිදු කල කෙනා මතු අරහත් බව ලබන බව ඔවුන් සිහිනෙකිදු නොසිතන්නට ඇත.එහෙත් ඔවුන් කර්මයක මුල් පියවර දෙක මොහොතකින් අවසන් කරඇත. ඔවුනට ක්‍රියාවෙන් අර දෙමාපියන් මැරූ තරුණයා මරා දමන්නට ඒ ආත්මභාවයේදී නොහැකි විය. ඔවුනට ඒ සිතුවිලි සහ ඒ සාප වදන් එහෙමම අමතක වන්නට ඇත. නමුත් ගොනා පසුපස එන රියසක මෙන් ඔවුන්ගේ ඒ ප්‍රාර්ථනාවද ඔවුන් සමගම පැමිණෙන ලදි. ඒ ප්‍රාර්ථනාවේ බල මහිමයෙන් ඔවුනට ඔවුනගේ ආශාව සංසිදුවා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලදි.අවාසනාවකට ඒ වන විට අර දෙමාපියන් මැරූ තරුණයා ඒ ආත්මභාවයන්හි මහරහතන් වහන්සේ නමකි.ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටුවිය. මුගලන් මහරහතන් වහන්සේගේ අකුසල කර්මයේ විපාකය උන්වහන්සේ අවසන් වරට විදින විට පෙර කී මිනිසුන් පිරිස මහා අකුසල කර්මයක් අලුතෙන් එකතු කරගන්නා ලදි.ඔවුන් ඒ වෙනුවෙන් ඒ ආත්මභාවයේදී රජ අණින් ඉන තෙක් පොලවේ වලදමා උඩින් පිදුරු දමා ගිනිතමා තවද ඇතුන් බැදි නගුල් මගින් ශරීරය කීතු වලට ඉරා දමා මහත් දුක් විද මිය ගියහ.එය එතනින් අවසන් නැත තව ආත්ම ලක්ශ ගණනක් අපා දුක් විදිනු ඇත.මෙය එක මොහොතක ඇතිවූ ද්වේශ සිතුවිල්ලක් නිසා සිදුකරගත්තකි.

මේ කතාවේ නොයෙකුත් අඩුලුහුඬුකම් තිබිය හැක.එසේනම් ඔබෙන් මම එයට සමාව අයදිමි.එහෙත් මගේ උත්සාහය අනෙකකි.මා දන්නා දේ සිංහලයෙක් වන ඔබට ජීවිතයට අර්ථයක් වන්නට ගෙනහැර දැක්වීමය.මෙහි සාරාංශගත නිරූපණය ලෙස එකසිතින් ඔබ කරන කුමන ප්‍රාර්ථනාවක් වුවද විශ්වය සහ ඔබගේ කර්මය විසින් ඔබට ඉටු කර දීමට මහත් උපකාර කරයි.දැන් ඔබම සිතා බලන්න දවස පුරා ඔබේ සිතෙන් ජනනය වන්නාවූ ප්‍රාර්ථනා ගැන. උදාහරණයක් ලෙස කවුරුන් හෝ නිවස අසල කුණු දමා ගොස් ඇත. කුමක් විය හැකිද එය දුටු විගස ඔබේ සිතුවිල්ල? "මොන කාලකන්නියෙක්ද මේ කුණු දාල ගියේ මුන්ට හෙන ගහන්න ඕනෙ" ඒ හා සමාන සිතුවිල්ලක් නොවේද? හරි මේ ආත්මභාවයේ ඒ පුද්ගලයාට එයින් පලවිපාක නොලැබී පසු ආත්මයක ඔහු හෝ ඇය ඔබේම දරුවෙක් ලෙස ඉපදුනොත්? ඔබ අප දන්නා පරිදි කෙසේවුවත් දෙමාපියන්ගේ ප්‍රාර්ථනා දරුවන්ට බොහොමයක් විට ඉටුවනවා නොවේද? එහෙත් ඔබ මුලින්ම ඒ දරුවා වෙනුවෙන් ප්‍රාර්ථනා කර ඇත්තේ කුමක්ද? එය ඉටුවනවිට දේවාල ගානෙ දුවමින් අනේකවිධ පූජා කරමින් කොතරම් දුකක් විදිනවද? මේවා සිහියෙන් යුතුව සිතා බලන්න.එවැනි සාපයක්, පරිභවයක් කලින් කර නොතිබුනි නම් මේ කිසිත් දුකක් නෑ නේද? එසේ වුයේ නම් එ පුද්ගලයා කරන ලද ඒ කර්මයට අනුව අදාල විපාකය ලබාවි.ඔබ එ පුද්ගලයාගේ පව ගෙවීමට හවුල් නොවේවි.මෙය සෑමදෙනාටම පොදු නොවේ.ඔබ මෙකී කරුණට අදාල නැතිනම් ඔබට මෙ ලිපිය හෝ මා සමග ගැටීමට කිසිදු කරුණක් නැත.

දැන් මදකට සිතන්න.ඔබ මෙය යහපත පිණිස යොදාගනු ලැබුවේ නම් කෙතරම් යහපත් දෑ ඔබටද ඔබෙන් අනෙක් අයටද සිදුවන්නේද?එකම දේ අපේ සිතයි. අප තවකෙක් මත ඇතිවන තරහ මත සාප කිරීම් ආදිය නොකල යුතුය.තරහව මගඵල නොලත් සැමට අඩුවැඩි වශයෙන් පොදුය.එය යටපත් කරගෙන අතහැරීම නම් කලයුතුමය. ඔබ එක සිතින් සිතන දේ ඔබට ඉටුකරගත හැක. මෛත්‍රී භාවනාවේද හරය මෙයම වේ.සිහියෙන් යුතුව තමා ඇතුලු සියලු සත්වයන්ගේ යහපත පැතීම.එය ඔබකරාම කෙදිනක හෝ නැවත එනු ඇත. ඔබට අනර්ථයක් කලවුන් සිතින් අතහරින්න ඔවුන් අදාල කර්මය කාලානුරූපව ගෙවනු ඇත.ඔබ එයට හවුල් නොවන්න.

තවත් ප්‍රධාන වශයෙන් අසන්නට ලැබෙන කරුණක් නම් "මම මෙච්චර හොද කරලත් කිසිම හොදක් වෙන්නෙ නෑ ඒත් අර තරම් වැරදි කරන උන්ටමයි හරියන්නෙ". අධෛර්යමත් නොවන්න විශ්වය සහ කර්මය විසින් ඒ වැරදි කරන අයවලුන් හට ඔවුන්ගේ ඉතිරි පිනෙහි සැපහොදින් විදින්නට සලස්වා අවසන පවෙහි විපාක රස විදින්නට දෙනු ඇත.එහෙයින් ඔබේ හොද හැමදාම එක ලෙස පවත්වා ගන්න එහි විපාක කවදාක හෝ ලැබෙනවා නිසැකයි.

සිංහල බෞද්ධයෙක් ලෙස විචාරශීලීව මේ කරුණු සලකා බලා ගතයුත්තක් ඔබට ඇතිනම් එය ඔබේ ජීවිතයට ගන්න.මෙය ඔබට අවශ්‍ය නොවන්නේ යැයි හැගුනේ නම් එකෙනෙහිම ඉවතලන්න.වාද විවාද පිණිස කාලයක් නැත හැමදාම සදහන් කරන පරිදි මගේ එකම පරමාර්ථය නිර්මල බුදු සසුනේත් සිංහල බෞද්ධ දේශයේත් සිංහල ජාතියේත් චිරතිතිය පමණි. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුවද අවසාන හුස්ම නුදුරේදී හෙලූවද එතෙක් එකම පැතුම එය වේ.එතෙක් හැකි තරමින් මම ලිපි, නිර්මාණ ඉදිරිපත් කරමි.ඔබ ගතයුතු දෑ ගෙන සිංහලයා රැකීමට එක්වන්න.මේ ලිපිය මගින් යම් යහපතක් වන්නේද ඒ පින පෞද්ගලික සුඛ විහරණය පිණිස නොව උතුම් සිංහල ජාතියේ චිරස්ථිතියටත් ඔබ සියලු දෙනාගේම නිදුක් නීරෝගීභාවය පිණිසත් හේතු වේවා!!!

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.